අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප‍්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත...
අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. මේකත් එක්ක ගිහින් රාජගිරියෙ ඉන්නවා ඌ අපිට නගින්න ඕනෙ බස් එක පෙන්නනකල්.. ඉන්නවා ඉන්නවා "බස් කමිං නෝ කලර්..."
බැරිම තැන උගෙන් ඇහුවා
"මොකේද බන් යන්න ඕනෙ...??"
" හිටපංකො හිටපංකො... !!"
ඔං උත්තරෙ... කොළඹ දන්නවා කියලයෑ.. ආයෙත් ඉන්නවා ඉන්නවා... බසුත් හෝ ගාලා යනවා... ම්හු... මූ නගින්නෙ නෑ..
"අඩෙ තාම නැනෙ බං... "
"හිටපං බං හදිස්සි නැතිව..."
" දැං ඉතිං ලොක්කගෙන් බැනුම් තමයි.."
දැං එක එකා බිම වාඩි වෙලා ඔළුවෙ අත ගහගෙන... සමහරු තාප්පෙට හේත්තු වෙලා.. අනතිමට එකෙක්ට මල පැනලා ජාතිය අමතලා ඇහුවා...
"බල්ලො දන්නැත්තං දන්නෑ කියපිය... මොකෙද තෝ එදා ගියේ... ??"
"එදා බන් නිල් ඉරි ඉරි බස් එකක ගියේ බං ඒක තාම නැනේ...."
පොයියා දැං කොල්ලුපිටියෙ පොලොසියේ ට‍්‍රැෆික් රාළහාමි කෙනෙක් කොහොම රාජකාරි කොරනවද මන්දා...
අනිකා මීයා... අවුරුද්දට ඔක්කොමලා උංගෙ ගෙදර යන්න සෙට් වෙලා... හැමොම වෙලාවට ටවුමට සෙට්වෙලා සන්කුයික් එකක් කාරිය අරගෙන බස් එකකට නැග්ගා.. දැං බහින තැන දන්නෙ නෑනෙ ඌට කොල් එකක් ගත්තා...
"මචං අපි බස් එකේ එන ගමන් කොහෙන්ද බහින්න ඕනෙ .. "
"උඹලා නිශ්ශංඛමල්ල පන්සල ගාවට ටිකට් ගනිල්ලා.. පන්සලට හෝල්ට් දෙකකට කලින් බැහැලා කෝල් එකක් ගනිං.... "
ඉතිං අපිට දිවැස් තියෙන්න ඕනෙ උංගෙ ගේ ගාවින් බහින්න....
තව ඉබ්බා කියලා එකෙක් ඉන්නවා.. ඌ පළවෙනි දවසේ එකෙක් එක්ක වැඩට ගිහිල්ලා... අරූ කියලා
"මම හෙට වැඩට එන්නෙ නෑ බහින තැන මාර්ක් එකක් දාගනින් හෙට තනියම එන්න වෙන්නෙ" කියලා... පහුවදා මීයා වැඩට එනකොට 11යි දාඩිය පෙරාගෙන එනවා..
"මොකෝ බන් මේ...??"
" පයිං එන්ඩ උනානෙ බන්... මෙතනින් බැහැගන්ඩ බැරි උනා....ඊයෙ එනකොට මං හෙන කටවුට් එකක් මතක තියාගත්තා ඒක පහුවෙද්දි බෙල් එක ගැහුවනම් හරි.. අද එනකොට ඒක හම්බුනේ නෑ... කොන්දගෙන් අහලා බලද්දි පහුවෙලා.."
" මොකද්ද මතක තියාගත්ත කටවුට් එක....??"
"අර අතන... යශෝධා ඉන්න, ලක්ස් එක.... !!"
මේකා මතක තියගෙන තියෙන්නෙ අර සැරින් සැරේට පින්තූර මාරුවෙන කටවුට් එකක්... අද බලන කොට ඒකේ හිටියෙ සංගීතාලු..



