තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි...
"තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා උපකාරයක් කරන්න...!"
යාචකයෙකු මෙන් එම වචන වල කිසිදු බයාදු හඩක් නොතුබුණි එසේම සාධාරණ ඉල්ලීමක් බැවින් මම වහා මගේ පසුම්බියට එබුණෙමි... රුපියල් 100 කොල 4කට අමතරව එහි ඇත්තේ තව එක් 10 කොළයක් පමණි.. රුපියල් 10 අතට ගෙන උන්වහන්සේ දෙස බලන විට ඇතැමෙක් 10, 20 කොළ පරිත්‍යාග කරනු දුටු අතර ඇතමෙක් කිසිත් නොදී අහක බලා ගත්තෝය..
"මෙහෙමත් පිරිහුණු සමාජයක්... ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් උදව් කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවන හැටි..."
මාද රුපියල් දහයක් දික් කිරීමට සැරුසී සිටීම ගැන මටම ලජ්ජා සිතුණි.. කදුරුවෙල සිට කොළඹට යාමට රු250ක් අවශ්‍ය වේ. උන්වහන්සේද මාතර යා යුත්තේ කොළඹ හරහා බැවින් මම උන්වහන්සේ කොළඹට රුගෙන යන්නට සිතුවෙමි... නමුත් දෙදෙනා සඳහාම රු 500 තිබිය යුතුය.
"ඉතිරි රුපියල් 100 මම කෙනෙකුගෙන් ණය වෙමි. නැතහොත් කොන්දොස්තර මහතාට කාරණය පහදා දෙමි.."යි සිතමින් රුපියල් 10 අතේ මිටමොලවා ගත් මා උන්වහන්සේ දෙස හැරී
"හාමුදුරුවනේ කොහාටද වඩින්නෙ.."
"මම පුතා මාතර වලස්මුල්ලට යන්න ඔනේ..."
"ආහ් හාමුදුරුවො වාඩිවෙන්න මම ටිකට් එකක් අරගන්නම් කොළඹට..."
"බෑ පුතා ඊළගට එන මාතර බස් එක මේකට කලින් යනවනේ.. මම බැලුවෙ ඒකෙ යන්න.."
"කාගෙන්වත් ඉල්ලන්නෙ මොකටද යංකො කොළඹට මම මාතර බස් එකකට ත් දාලා ටිකට් එකක් අරන් දෙන්නම්...පොඩ්ඩක් පරක්කු වුනදෙන්"
කොළඹින් බෝඩිමේ එකෙක් ලවා සල්ලි ටිකක් ගෙන්වා ගැනීමට හැකි වෙතැයි සිතා එසේ කීවෙමි.. බෝඩිමේ ඉන්න 'ගොයියා' බෙල්ල කඩාගෙන හෝ මේ වැඩේට සල්ලි හොයා ගන්න බම දනිමි
"ඒත් හරි තමා... හරි එහෙනම් පුතා මම එන්නම්කො..."
කියා උන් වහන්සේ බසයෙන් බැසගෙන වහා වහා සෙනග අතරින් නොපෙනී ගියහ...
"කොහොමද වැඩේ..."
"නියමයි කරපු වැඩේ..."
බසයේ උන් මාදෙස සිනහවෙමින් බලමින් දොඩමළුවෙති...
"උන් තමා දවසකටවත් මිනිස්සු..."
"මෙයා උදේ ඉදන් ඔය වැඩේ කලේ අපි දැක්කනේ....."
"හාමුදුරුවොත් ෂුවර් නෑ මේ කාලේ..."
එක එකා කියව ගනිති.... මම නිරායාසයෙන් බස් එක තුල වීරයෙකු වූයෙමි.. මට කාරණය පැහැදිළිවීමට සුළුවෙලාක් ගත විය... රුපියල් 10 පසුම්බියට ඔබා මම වීදුරුවට හේත්තු වී දෑස් පියා ගතිමි