10.18.2009

හෙවනැල්ල....(හෙවත් සහෘදයා...)


මං හෙවනැල්ල එක්ක රණඩු වෙනවා....
මට ඌව පේන්න බෑ...!
සමහර දේවල් බෙදාගන්න පොරකනවා... මට වඩා දිග හෙවනැල්ල මාව පරදවනවා.
මට ඌව පේන්න බෑ....!
හෙවනැල්ල නැති දිහාවකට මට යන්න හිතෙනවා...
මං හෙවනැල්ලෙ තරමට ලොකු වෙන්න හදනකොට ඌත් ලොකු වෙනවා...
එහෙම උණත්, ඌ දැන් ටිකක් හොඳයි.... හිතපු තරම් නරක නෑ....!
මාත් එක්ක සෙල්ලම් කරනවා... මගෙ තනියට ඉන්නවා..
ඉඳල හිටල තරහා උණත් මට සමහර වෙලාවට ඌ හයියක්...
ඌ හිතපු තරම් නරක නෑ..
මම හෙවනැල්ලෙ තරමට ලොකු උණා.. ඌ මාත් එක්ක යාළු උණා..
මට ඌ නැතුව බෑ.. උටත් මං නැති උණාම දුක බව දැක්කා..
සමහර කරදර මාව හොයන කොට හෙවනැල්ල ඇවිත් ඒවාට නොපෙනෙන්න මාව වහගත්තා..
හතර වටින් එලිය තියෙද්දිත්.. කට්ට කරුවලෙත් හෙවනැල්ල මාත් එක්කම හිටියා...
මාත් එක්ක හිනා උණා.. මාත් එක්ක ඇඩුවා..
මට ඌව නැතුව බෑ.. අපි දැං එකම වගේ..
එකට වෙලිලා වෙන්කරලා අඳුන ගන්නම බෑ...
මං යන පාර හරිද වැරදිද කියුවා...
ඒ මාත් එක්ක ඒ පාරෙන් එන ගමන්.... ඉතිං මං පිළිගන්නවා..
මට තේරෙනවා ඌ මට ආදරෙයි..
කාකි පාට මූණු අතරින් අඳුණන මූණක් ඇවිදින් අපිව එක්කන් යනකන්..
යකඩ කූරු අස්සෙන් එබිලා බලාන හිටියා...
ඒ මූණු වල රැුවුම් ගෙරවුම් වලින් මට රිදෙයි කියලා ඌ මාව වහගත්ත ගමන්ම හිටියා...
ඉතිං මට ආපු ගල් මුල් උටත් වැදුණා ඌ කෑගහලා ඇඩුවා....
ඒ ඒවගෙන් මට රිදෙයි කියලා හිතලා..
මම හෙවනැල්ල දිහා බැලුවා ඌ ලොකුවෙලා.. ප‍්‍රතපවත් වෙලා... මාව හංගන් ඉන්නවා..
මං හෙවනැල්ල බදාගත්තා... ඌ මාව තුරුළු කරගත්තා... දෙන්නම ඇඩුවා..
මගේ කඳුළු බිමට වැටුණෙ නෑ.. ඌ අල්ලගත්තා..
උගේ කඳූළු හරිම රස්නෙට මගෙ ඇගට වැටුණා... මාව පිච්චුණා..!!
මගෙ ඇගට උරාගත්තා... මගෙ ලේත් එක්ක මුහු වෙලා ගියා...
මට පණක් ආවා... මං නැගිට්ටා... මට දැං කෙළින් හිටගන්න පුළුවං..
මං වෙනදට වඩා ඈත ලෝකෙ දිහා බලන කොට හෙවනැල්ල හිතුවෙ මම දැං ලොකුයි කියලා...
එයා දැං ටිකක් දුරින් ඉඳලා බලන් ඉන්නවා.. මං දන්නවා ඌ මට ආදරෙයි...
අපි දැං ඉන්නෙ වෙනම උණාට ඌ මගේ හෙවනැල්ල......
මට තනියම ඉන්න පුරුදු කරන්න එයා ඈතට ගියාට...  මගේ හෙවනැල්ල.....!!
නෑ... ඌ.... මගෙ අයියා.......!!!

3 අදහස්..:

  • ලෝකයා... says:
    October 18, 2009 at 11:46 PM

    maxA

  • දිනුෂි says:
    October 22, 2009 at 3:43 PM

    උඹ යාන්තම් දනගාද්දි
    මම උඹේ පස්සෙන් දුවගෙන ආව
    ඒ උඹව ඉස්සර කරන්න නෙවෙයි
    උඹේ වැටුනොත් මට රිදෙන නිසා
    උඹේ හෙවනැල්ල පෑගෙද්දි
    මම පැත්තකට උනා
    ඒ උඹට රිදෙයි කියල
    ඒ කාලෙ මම හිතුවෙ එහෙමයි

    අද උඹ මටත් වඩා ලොකු වෙලා
    මගේ කරට අතදාගෙන
    ලොක්කෙක් වගේ පාරදිගේ යද්දි
    උඹට වඩා සතුටු උනේ මම
    මම උඹෙ දිහා හොරෙන් වගේ බැලුව

    ඔහේ කියවනව
    අරූ ගැන, මූ ගැන, අරකි ගැන
    ඉස්සරවගේ හුරතල් කටහඬක් නැතත්
    තාමත් මම ආසයි අහගෙන ඉන්න
    ඉස්සර වගේම
    ඒක මට කොච්චර වදයක් උනත්....

    මුලු ලෝකෙම එක්ක තරහවෙලා
    මුල්ලකට වෙලා උඹ අඬද්දි
    මට හිතුන මුලු ලෝකේම ඉවරයක් කරන්න
    එත් මට බැ ඒක කරන්න කියල උඹ දන්නව
    උඹ දන්නව ඒත් උඹට කවුරු නැතත් මම ඉන්නව කියල
    ඒකයි උඹේ ඔච්චර ලොකුව
    එහෙම නේද???????????

    මෙ මගේ අක්ක මං ගැන හිතපු හැටි
    කවිය ලියුවෙ මම උනාට මම මගේ අක්කගෙන් දැක්ක දේ තමයි මේ.......

  • අංගොඩයා.. says:
    June 26, 2012 at 1:21 PM

    සුපිරි මචන්..

Post a Comment

Followers