12.01.2011

ගෝමස් ට්වින්ස්...

අපේ ගෙදර ඉන්නෙ දවල්ට කිරි අම්මා විතරයි.. එයාට ගොඩක් වයසයි ඒ මදිවට අසනීපයි... මොනා කරන්නද.. මම බටහිර, අයියා උතුරෙ.., තාත්තා සබරගමුවෙ..., අම්මත් දවල්ට වැඩට යනවනේ ඉතිං කිරිඅම්මා පාළුව යන්නත් එක්ක පොඩි පොඩි වැඩ කරනවා..... අම්මගෙන් බැනුම් අහ අහ... 


මේ අවු අස්සෙ අපේ ගෙදරට ආපු නිවුන්නු මතකද.... 'අයියාමල්ලී' නෙවෙයි... ගෝමස් ඇන්ඩ් ගෝමස්.... වෙසක් බලුපැටවු දෙන්නා...
දැන් කිරිඅම්මට කරන්න සෑහෙන්න වැඩ..! කොහෙන්දෝ පොල්මුඩ්ඩක් කටෙන් අරන් තැන තැන යනවා... කිරි අම්මාගෙ පනාව උස්සනවා.. හෝදලා වනපු රෙදිත් එක්ක සෙල්ලම් කරනවා.. මේ ඔක්කොම බලන්නත් ඕනෙ... වේලෙන්න දාපු කොප්පරා ටික බේරගන්නත් එපායැ... දෙන්නෙක්නෙ.... 
"මේ මළ කරදරෙ ගෙදරට ගෙනත්...." කියා ගත්තු ගමන් තමයි නිතරෝම... 
ඊටත් වඩා එයාගේ දවසෙ වැදගත්ම කාරණේ උනේ මුන් දෙන්නව නාවන එක... 
දැං කිරිඅම්මා වෙනදට වඩා සතුටෙන් වගේ... 'බළු කොලම්' බල බල ඉන්නවා.... 
ගේ ළගින්ම ඇළකුත් තියෙනවා ඉතිං බල්ලව නාවලා එයත් නා ගෙන ගෙට එනකොට ඔන්න අම්මත් වැඩ ඇරිලා ගෙදර එනවා.. ඔහොම තමයි එයාලගේ දවල් වරුව ගෙවෙන්නෙ...
මම ගෙදර ඉන්න වෙලාවට වෙන වැඩක් නැත්තම් පත්තරයක් බලාගෙන පාඩුවෙ ඉන්නවා ඉස්සර වගේ රස්තියාදුගහන්න දැන් තැනක් නෑනෙ... මම සාලෙට වෙලා ඔහොම ඉන්න කොට.... මට ලාවට බල්ලෙක් කෙඳිරිගානවා ඇහුණා... 
කිරිඅම්මා බල්ලෙක්ව අල්ලගෙන ඉනෙන් තියාන හෙමින් හෙමින් ඇල පැත්තට යනවා එයාම කියන විධියට "කොකංගානවා..." ඔහොම හෙමින් හෙමින් ගිහින් ඒකාව නාවනවා කිරි අම්මා ඇවිදින්නෙ හෙමින් නිසා ඔය වැඩේට සෑහෙන වෙලාවක් යනවා..... වැඩිපුරම යන්ඩයි එන්ඩයි.... 
අරූව නාවලා පිහලා අත ඇරපු ගමන් ඌ 'බුෂ්' ගාලා ගෙදර... දැන් කිරිඅම්මා හෙමින් හෙමින් ආපහු එනවා... මේකා මෙහෙ මිදුලෙ පෙරලෙනවා, ගෙට එනවා..., මගෙ කකුලෙන් පොඩ්ඩක් හපලා කාරිය පොඩ්ඩක් කෝලිත්තම් කරනවා... මටත් ඒ වෙලාවට පත්තරෙ බලනවට වඩා ඒ දිහා බලන් ඉන්න හිතෙනවා ඌ පොඩි පැටියෙක්නෙ තාම... 
හෙමින් හෙමින් ආපු කිරි අම්මා ආයෙත් මෙයාව වඩාගත්තා මේ ඔක්කොම සිද්ධිය මං බලාන් හිටපු නිසා මට පොඩ්ඩක් 'අන්දොස්.....'  මම පත්තරෙට උඩින් එබිලා කිරිඅම්මගෙන් ඇහුවා....


"කිරිඅම්මා කොහෙද ඔකාව ගෙනියන්නෙ... "


"මං එකෙක්ව නාවලා අතඇරියා... මූවත් නාවන්න කියලා...."


මළකෙලියයි දෙන්නම එක වගේ නිසා උන් දෙන්නව වෙන්කරලා කිරිඅම්මට අඳුනගන්න බෑ ... මම හිටියෙ නැත්තං මෙයා දෙපාරක් නානවා.... අපි නැති දවස්වලට මොනවා වෙනවද මන්දා....




 හැබැයි දැන් දවල් වරුවට  කිරි අම්මා ඉන්නෙ අයෙමත් තනියම....!!

10 අදහස්..:

  • duliponline says:
    December 1, 2011 at 7:26 PM

    උඹයි අයියයි පොඩි කාලෙත් කිරි අම්ම ඔහොමමද මචං ??????

  • නරකයා....!! says:
    December 1, 2011 at 7:42 PM

    හුහ් හුහ්.... මායි ඌයි වෙන් කරලා අඳුනගන්න පුලුවං ලොවෙත්......

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 2, 2011 at 3:52 AM

    එළ එළ දැං ගෝමස්ලා දෙන්නා වැඩ අල්ලලා..සෙරෙප්පු කන්න ගත්තම තමයි කිරි අම්මා උංගේ අඩු කඩන්නේ .....

  • නරකයා....!! says:
    December 2, 2011 at 7:11 AM

    හරියට හරි.. කොහොමද දැනගත්තෙ.... ලොල්....

  • Unknown says:
    December 3, 2011 at 10:54 AM

    දැන් දවල් වරුවට කිරි අම්මා ඉන්නෙ අයෙමත් තනියම....!!
    moko siddiya...?????

  • නරකයා....!! says:
    December 3, 2011 at 11:53 AM

    උන් දෙන්නා මැරුණා...

  • තාරක Dilsh@n says:
    December 9, 2011 at 4:29 PM

    නාවල වැඩි වෙලාද?

  • නරකයා....!! says:
    December 10, 2011 at 1:54 PM

    @තාරක Dilsh@n:
    අනේ නෑ... :P

  • Miyuru says:
    December 16, 2011 at 7:01 PM

    අනේ පව්... කිරි අම්මයි... බලු කුකු පැටව්නුයි දෙගොල්ලොම....

    ගෝමස් ඇන්ඩ් ගෝමස්.... හික්ස්...

  • වර්ණා says:
    December 17, 2011 at 9:48 AM

    ඈ මොකද තනියම ඉන්නේ. අපේ කට්ටියත් ඔහොම තමයි. නාන්න කියන වචනේ ඇහුනත් ඇති දුවනවා. කුඩුවේ ඉන්නකොට කුඩුවේ කෙරෝලටම වෙලා ඉන්නවා. කොච්චර ඇත දාලා ඇද්දත් එන්නෙම නැහැ, අන්තිමට ඉතින් අපිටම කුදුව ඇතුලට යන්න වෙනවා. නැවගමන් දුවනවා ආපහු ගේ වටේම. හරිම හුරතල් ;)))

Post a Comment

Followers